දෙවන දිග හැරුම

උදේම නැගිටල ගෙදරින් ආවට ඉස්කෝලෙ යන්නෙ හැමදාම 7.05 කෝච්චියෙ තමයි. රංගයයි අනිත් උන් සෙට් එකයි වෙලාවට කලින් ඉස්කෝලෙ යනවා. මම විතරයි හැමදාම පරක්කු වෙන්නෙ.  ඉස්කෝලෙ ගිහිල්ලා මනෝ ගහගෙන ඉන්නවට වැඩිය හොදයි නෙත්මිගෙ මූණ බලලම යන එක. එක පාරක් හරි මගෙ ළඟට වෙලා එයා ඉන්නවනම්. වටපිට බැලුවා නෙත්මි ඉන්නවද කියල. පේන්න නම් නෑ වගේ.වැඩිය ඉස්කෝලෙ යන ළමයි නැහැ මේ වෙලාවට. වැඩට යන කට්ටිය එන්න එන්නම වැඩි වෙනව ස්ටේෂන් එකට එන.

“ගුඩ් මෝනිං” මං එක පාරට අනිත් පැත්ත හැරුනා. නදීෂා ළඟටම ඇවිල්ලා,දැක්කෙත් නෑ.
“එසේම වේවා” මාත් පුරුදු විදිහට උත්තර දුන්නා.
“කොහෙද බලං හිටියෙ, අරය එනකම් නේද?”
නදීෂා දන්නව මගෙ විස්තර හැම එකක්ම වගේ. නෙත්මිට ට්‍රයි කරන්න ගිහිල්ලා තමයි නදීෂාව අඳුර ගන්න ලැබුනෙ. මොනව වුනත් හොඳ කෙල්ල.

“නැත්තම් ඉතින්, මොකෝ වෙන වැඩක් නෑනෙ මට” මටත් කියවුනා.
“අද යාලුවො ටිකත් ගිහිල්ලනෙ, කොහොමද කසුන් ජීවිතේ?” නදී ඇහුවා.
“කියන්න තරම් දෙයක් නෑ නදීෂා. පරණ පුරුදු විදිහම තමයි.”
“ම්ම්”

“කසුන්” ටික වෙලාවකට පස්සෙ නදීෂා ආයෙත් කතා කලා.
“ඇයි?”
“ඔයා මගෙන් ඇහුවෙ අර කාරණාවක් ඇත්තද කියල” නෙත්මිට කොල්ලෙක් ඉන්නව කියල ආරංචියක් ආවම මං නදීට කිව්ව පොඩ්ඩක් හොයල බලන්න කියල.
“ඔව් ඉතින්” මාත් ඇහුවෙ බොහොම නොඉවසිල්ලෙන්.

“ඒ කතාව ඇත්ත. අපිට වැඩිය වැඩිමල්, ජොබ් එකක් කරන කෙනෙක් කියල තමයි කියන්නෙ” නදී කිව්වා.
“කොහොමද දැනගත්තෙ?නෙත්මි ඔයාට කිව්වද?”
“ඒකි අපිට කියන්නෙ නෑ.එයාගෙ හොඳම යාලුව සම්මානිට වත් හරි විස්තරයක් කියල නෑ. “
එක පාරට ආයෙමත් හිත දුකෙන් පිරිල ගියා.

“කසුන්” නදී ආයෙත් කතා කලා. මං උත්තරයක් නොදී නදීගෙ මූණ දිහා බැලුවා.
“එයා අමුතු ජාතියෙ කෙනෙක් කසුන්. ඔයා හිත හදා ගන්න බලන්න. සම්මානිත් මට කිව්වා ඔයා තවත් වද වෙනන් ගිහින් එක්සෑම් අනා ගත්තොත් ඒක ලොකු අපරාධයක් කියල.” නදී ඒ ටික කිව්වට මං කොහොමද හිත හදාගන්නෙ. හැම දේම හීන විතරක්වෙන්නෙ ඇයි කියල මට හිතුනා.
“කෝච්චිය එනවා කසුන්” නදී කිව්වා. සෙනඟ ගොඩ අස්සෙ නදී ට ඇතුලට යන්න කියල මං ෆුට් බෝඩ් එකේ එල්ලුනා. මරදානට එනකම්ම නෙත්මි ගාව හිත් තිබුනෙ.

මරදානෙන් බැහල ඉස්කෝලෙට දුවගෙන ගියාට වැඩක් වුනේ නෑ. බස් එකෙන් බහින කොටත් බෙල් එක ගහල ඉවරයි. යන්තම් නම් ලකුණු කරන වෙලාවට පන්තිය ළහහට ගියා. මිස්ට හිනාවක් දාලා පන්තියට පැනගත්තා. උදේ පාන්දර එළියෙ ඉන්න වුනා නම් බුදු චාටර්.  පන්තියෙ ඉඳ ගත්තට තාම හිත එක තැනක නෑ. හෙමිහිට පන්තිය වටේට බැල්මක් දැම්මා.

“කසුන්” අම්මෝ මිස්ගෙ සද්දෙ.
“පරක්කු වෙලා ආවා මදිවට තව වටපිට බල බල කැරකෙනවා. මේ දීලා තියෙන ප්‍රතික්‍රියාව ලියන්න” මිස් ගෝරනාඩු කලා.
P හා NaOH අතර ප්‍රත්‍රික්‍රියාව. මං කොහෙ ලියන්නද මේවා. සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මම මොකක්ද ව්‍ෙන ප්‍රතික්‍රියාව කියලවත් දන්නෙ නැති මං මේක කොහොම ලියන්නද.

 මං දන්නෙ නෙත්මි ගැන විතරමයි. මගෙ හිත මටම කෙඳිරුවා. අමතක් කරන්න හදන කොට මතක් වෙන එකම දේ නෙත්මි. නෙත්මි ගැන නොහිතන වෙලාවක් මගෙ හිතේ නෑ. වෙලාවකට මටම හිතෙනව මට පිස්සු වගේ කියලත්.

…………………………………………………………………………

කෙමිස්ට්‍රි පීරියඩ් දෙක ඉවර වෙනකම් පන්තියෙ හිටියෙ බොහොම අමාරුවෙන්. මැත්ස් පීරියඩ් දෙකට සර් එන්න කලින් පන්තියෙන් පැන ගත්තා. නැත්තම් එපා වෙනව මට පන්තියෙ හිටියනම්. එන්ටවල් එක් වෙනකම් ලයිබ්‍රරි එකෙයි අනිත් හැම තැනමයි රවුම් ඟහ ඉන්න කොට වින්දන අයියට අතේ මාට්ටු. වින්දන අයියා ශිෂ්‍ය නායකයෙක්. අපේ බුදු ෆිට් එක. මැව දැක්ක විතරයි පොර නැවතුනා හිටිය තැනම.

“කසුන් මල්ලි, මං උඹට කිව්වනෙ පීරියඩ් කට් කරන්නෙ නැතුව පන්තියෙ ඉඳපන් කියල උගන්නන වෙලාවට. යකෝ එක්සෑම් ඇණ ගත්ත දාට තමයි උඹට ඕක තේරෙන්නෙ. අද උඹ පන්තියට නොගිහින් අහුවුනොත් ඉන්ටවල් එකෙන් පස්සෙ පනිෂ්මන්ට් එකක් දෙනව පුතේ”
වින්දන අයියා හොඳ එකා. ඌ එක්සෑම් ගොඩ දාගනිං කියල හැම තිස්සෙම කියනව. මාත් හැමදාම අහගෙන ඉන්නව විතරයි කරන්නෙ නෑ. මීහරකුන්ට තේරෙනව ඇති මට වැඩිය වෙන කෙනෙක් කියන දේ.

වින්දන අයියගෙ බැණුමත් අහගෙන වැඩ කරනව කියල හිතාගෙන ඉන්ටවල් එකෙන් පස්සෙ පන්තියට ගියා. නදීරයා හොල්මන් වෙලා වගේ මා දිහා බැලුවා.
“ඇයි මං උඹ කවදාවත් නැතුව ෆිසික්ස් පීරියඩ් එකට වෙලාවට ආවෙ?”
මං මොනව කියන්නද ඌත් මෙහෙම කියන කොට?

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Published in:  on February 12, 2008 at 3:10 am Comments (1)

The URI to TrackBack this entry is: http://adharaya.wordpress.com/2008/02/12/2/trackback/

RSS feed for comments on this post.

One Comment Leave a comment.

  1. ලස්‌සනයි! දිගටම ලියන්න!


Leave a Comment