පලවන දිග හැරුම

ඉන්ටර්වල් එක හමාර බව දැනුම් දෙන දෙවෙනි බෙල් එකත් වැදුනා. පන්තියට යන්න මතක් වුනේ දැන් තමයි. “මල්ලිලා හෙට එහෙනම් ඉන්ටවල් එකේ එන්න”. සාහිත්‍ය සංගමේ රැස්වීම ඉවර කරල පන්තියට දිව්වෙ පණ බයේ. මේ දවස්වල කොහොමටත් වෙලාව හොඳ නෑ. පෙර කරපු පව් පල දෙනවද කොහෙද. අමරසේන සර් පන්තියට ඇවිත්. අමරසේන සර්ගෙ පීරියඩ් එකට වෙලාවට පන්තියෙ හිටියෙ නැත්තම් පරක්කු වෙලා ඇතුලට යන්න බෑ. දැන් ඉතින් පීරියඩ් දෙකම එළියෙ ඉන්න වෙයි වගේ. මගෙ කරුමෙටම නදීරයත් කවදාවත් නැතුව වෙලාවට පන්තියට ගිහිල්ලා.

කෝකටත් කියල පන්තියෙ දොර ළඟට ගිහිල්ල බයාදු බැල්මක් දැම්මා සර්ට. මුකුත් නොකියා අතින් සංඥාවක් දුන්නා ඇතුලට එන්න එපයි කියල. සර්ගෙ තියෙන ආඩම්බර කමක හැටි. ඉගෙන ගන්න ආස හිතිල ටිකක් හරි පරක්කු වෙලා පන්තියට ආව දවසටත් එළියෙ. කරන්න දෙයක් නැති තැන ලයිබ්‍රරි එකට රිංග ගත්තා. නැත්ත් එළියට වෙලා චාටර් කන්න වෙන්නෙ. පීරියඩ් දෙක ඉවර වෙලා යන්තම් පන්තියට යන්න හම්බ වුනා. නදීරය මෙලෝ සිහියක් නැතුව ගාණක් හදන්න ට්‍රයි කරනව. මූට මොකද මේ හදිස්සියෙ වෙලා තියෙන්නෙ.
“නදීර”. මං ඌට කතා කලා.
“ඇයි බං වද දෙන්නෙ මට මේ ගාන හදන්න දීපංකො” නදීරයා කිව්වා. එහෙම කරන්න දෙන්න බෑනෙ. මං විතරක් එක්සෑම් ඇණගෙන නදීරය ගොඩ යන්න?
“උදේ ප්‍රැක්ටිස් කරලා ඇඟ රිදෙනවා බං. බැරි වැඩ නොකර ඉන්න තිබුනෙ A/L කරන කාලෙ. මේ සංගම්වල වැඩත් බදා ගත්තට පස්සෙ මූණ හෝදගන්නවත් වෙලාවක් නෑ බං.” මං නදීරයට කිව්වා.

“අනේ බං මූණ හෝදනව තියා වතුර ටිකක් වත් ගාගන්න එකෙක්ද උඹ” නදීරයා මට කැපිල්ම දානව. මොන තරම් මරාගත්තා වුනත් පන්තියෙ එක ළඟ ඉන්න හඔදදම යාලුවා ඌ තමා. වැඩ කරන එකාට කරදර කරන එකත් හොඳ මදිනෙ. මං පන්තිය වටේට බැල්මක් දැම්මා. මහේෂ්, සුරංග ඉස්සරහ පේලියෙ ඉඳගෙන ගණන් හදනවා. මට ඉතින් ඉගෙන ගන්න වැඩ තියෙන මිනිහෙක් නෙවෙයිනෙ. පිටිපස්සෙ චමල්ලා සෙට් වෙලා සින්දු කියනවා. මමත් ඒ පැත්තට ගිහින් ඉඳගත්තා. “අත් වැල් බැඳ ගෙන මං මාවත් දිග”. මාත් හෙමිහිට අත්වැල ඇල්ලුවා.
“උඹ ඔය කියන්නෙ පැල් කවියක්ද?”. තට්ටයා මාව නෝන්ඩි කරනවා.
“පල තට්ටයො යන්න. මචං එකම විහිළුව හැමදාම කරන්න එපා බං.එතකොට ඒකෙ ගතියක් නැහැ.” තට්ටයා හෙමිහිට ෂේප් වුනා. ඉස්කෝලෙ ඇරෙන්නත් ළඟයිනෙ.

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

ස්ටේෂන් එක හතරවටේට ඉස්කෝලෙ යන ළමයි. දවසින් දවස පැටවු ගහනවද මන්දා මෙච්චර ළමයි තොගයක්. ඌයි! එකපාරටම පිට හරහා වැදුනා හොඳ පාරක්. කවුද මේ මිනී මරන්න හදන එකා. මං පිටිපස්ස හැරිල බැලුවා. මාලිංගයා!
“ඇයි බං උඹෙ අතපය ඔටෝ වැඩ කරනවද අපිව දැක්කම?”. මට කේන්තිත් එක්ක.

“ඔහොම නෙවේ දෙන්න තියෙන්නෙ. උඹලත් දැන් ලොකු ලයින් දෙනවනෙ අපිට. වැඩිය පේන්න එන්නෙත් නෑ. මැත්ස් කරනව කියල උඹල හිතාගෙන ඉන්නෙ තද පොරවල් කියලද?” ඌ ඒ ටික කියන ගමන් ආයෙ බඩටත් එකක් ඇන්නා. කවදහරි මුගෙන් ගුටි කාලම මැරෙනවා.
“නෑ මචං පොඩ්ඩක් වැඩ වැඩියි මේ දවස් වල. කලා උළෙලෙ වැඩත් තියෙනවනෙ බං ඒකයි.” මං කිව්වා.
“එළම කිරි. අපිටත් කියපන් හරිද. එදාට එන කෑල්ලකට ලයින් පාරක් දාගන්න පුලුවන්නෙ” මාලිංගයා පැණි හලාගෙනමයි ඉන්නෙ.
“ඇයි බං දැං කරන කෑලි තුනට මොකද වෙන්නෙ. උඹ අන්තඃපුරයක් දාන්නද ට්‍රයි එක.” රංගය මැදට පැන්නා.

“උඹලගෙ බැරි කමට අපි පළිද බං” මාලිංගය එක්ක ඔය මාතෘකාව කතා කරන එක තේරුමක් නැහැ. කෝච්චියෙ එක කෙල්ලෙක්. ක්ලාස් යන්නෙ තව කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙන. ගෙදර ගිහින් කෝල් කරන්නෙ තව එකකට. අනේ මංදා මූ කොයි ජාතියෙ එකෙක්ද කියලා. ඇහුවොතින් කියන්නෙ “ෆන් එකටනෙ බං, ආයෙ කවදා කරන්නද ඕවා.”
කෝච්චියත් එනවා ඒ අස්සෙ. හැමදාම වගේ විනාඩි පහක් විතර පරක්කු වෙලා. මේ වෙලාවට වැඩිපුරම ඉන්නෙ ඉස්කෝලෙ යන වයසෙ ළමයි. හැබැයි සාමාන්‍ය මගීයන්ට නම් එපාවෙනව ඇති. අපි සිංදු කියනකොට , කෑගහනකොට මල වදේනෙ. සමහරු අපි දිහා බලන්නෙත් අමුතු විදිහට. කම්මැලියිත් වගේ. බයිට් කරන්න අඳුරන කෙල්ලො ටිකක් වත් නෑ ළඟ පාතක.

“සිංදුවක් වත් පටන් ගම්මුද බං” මං රංගය ගෙන් ඇහුවා.
“පලයං බං යන්න. මෙච්චර කල් කියපු සිංදු මදිද? දැන් ෂේප් එකේ ඉන්න ඕන කාලෙ. විභාගෙට දැන්ම සෙට් වුනේ නැත්තම් අනාථයි තමා.” රංග ය කියන්නෙ ඇඟ සීතල වෙන කතා. කතාව නම් සම්පූර්ණ ඇත්ත. ඌ ඉතින් හොඳට අධ්‍යාපනෙ කරගෙන යනව. මාව දැනටමත් අනාථ සාගරේ මුතු කැටයක් වෙලා ඉවරයි. අනිත් උන් කැම්පස් යයි. මට කැම්පස් යන්න වෙන්නෙ කැම්පස් කැන්ටිමේ වැඩට තමයි.
ජීවිතේ දුරකි. ඉරකි . තිතකි. ~~~~~~~~

“කසුන් මම උඹට කියන්න මචං හිටියෙ. උඹ ඔය පිස්සු වැඩ අත ඇරලා දාලා ඉතුරු වෙලා තියෙන දවස් ටිකේ හරි වැඩ කරපන්.එදා පාඩම් කරන්න ආපු දවසෙත් උඹලගෙ අම්මා කිව්වා මාත් එක්ක. අම්මට හිතා ගන්න බෑ මොකද වෙලා තියෙන්නෙ කියල.” ඒ වෙලාවට ඉබේම වගේ හිතට දුකක් ආවා. අම්ම මං ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන් ඉන්නවද? මං පිස්සු කෙලින එක නවත්තගන්න බැරිවුනානෙ. O/L ගොඩදාගෙන A/L කරන්න ආවෙ ගොඩක් දේවල් හිතේ තියාගෙන. ඒත් මං දැන් මොනවද කරන්නෙ?

ළඟදි දවසක අම්මා ඇහුවා “මොකද පුතා වෙලා තියෙන්නෙ. මට හිතා ගන්න බැහැ ඇයි කියල. ප්‍රශ්නයක් තියේ නම් කියන්න.” හැමෝටම වගේ මගෙ වෙනස තේරෙනව ඇති. ගෙදර ගියාම පාලුවෙන් තනිකමින් හිත පිරෙනවා. මට මොනව වෙලාද කියල මටම තේරෙන්නෙ නෑ. ගනේමුල්ලටත් ළඟයි.කෝච්චියෙන් බහින්න හදන කොට අපි හිටපු පෙට්ටියෙ ඈත කෙළවර දිහා බැලුනා.

නෙත්මි!

මාව දැකලා අහක බලා ගත්තද මංදා. හිත හැමදාම වගේ දුකින් පිරුණා. ගනේමුල්ලෙන් බැහලා එයා යන දිහා බලාගෙන හිටියා හැමදාම වගේ. ඒ වුනාට කවදාවත් එයා මගෙ නෙවෙයි කියල දැනුනම. මගෙ දිහා බලන්නෙ නැතිවෙයි , හොයන්නෙ නැතිවෙයි කියල හිතෙනකොට.

“ගෙදර පලයං ඩෝ”
රංගයා කෝච්චියෙ යන ගමන් කෑ ගහනවා. ඌ ඉන්නෙ ගම්පහ නිසා තව යන්න තියෙනවා. ඌ මට අත වනාගෙනම කෝච්චිය ඇතුලට ගියා. හූ හඬ දීගෙන කෝච්චිය යන්න පිටත් වුනා. රංග කෝච්චියෙ එන ටිකට කියපු ඒවා ආයෙ මතක් වුනා.
“උඹ නෙත්මි ගැන හිතන එක දැන්වත් අත ඇරලා දාපන්. ඒකිට කොල්ලෙකුත් ඉන්න එකේ පිස්සු කෙලින්න එපා. ඇයි බං උඹට මං කියන ඒවා තේරෙන්නෙ නැත්තෙ”

මගෙ හිත හොඳටම දන්නවා නෙත්මි ගැන බලාපොරොත්තු තියාගන්න එක තේරුමක් නැති වැඩක් කියල. ඒ වුනාට ඉබාගාතේ දුවන මගෙ හිත හොයන්නෙ එයාව විතරයි නම්? ස්ටේෂන් එකෙන් එළියට ආවට ගෙදර යන්න හිතුනෙත් නෑ. කෝච්චියෙ ආපු හැමෝම වගේ ගිගින් බස් ස්ටෑන්ඩ් එකත් පාලුවට ගිහිල්ලා. එහෙ මෙහෙ රස්තියාදු ඟහ හිටියා පැයක් විතර. ගෙදර යනකොට හතරහ මාර පහුවෙලා. පොත් ටික පැත්තකින් තියල ඇඳේ ඇලවුනා. ඒ වුනාට මගෙ හිතට නිවන්ක නෑ. ඔව් ඒක නං ඇත්තමයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Published in:  on February 6, 2008 at 10:48 am Leave a Comment

The URI to TrackBack this entry is: http://adharaya.wordpress.com/2008/02/06/%e0%b6%b4%e0%b6%bd%e0%b7%80%e0%b6%b1-%e0%b6%af%e0%b7%92%e0%b6%9c-%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b7%94%e0%b6%b8/trackback/

RSS feed for comments on this post.

Leave a Comment